July 16, 2018
+94 777 818 717 / +94 727 818 717

ඔබේ ලග්නය


මේෂ

සාමාන්‍ය රූප ස්වභාව: මධ්‍යම ප්‍රමාණ ශරීරය වේ. කදිම දික්වූ බෙල්ලක් හා පොකුරු කෙස් හා රැවුල්ද ඇස් බැමද ඇතිවේ. යහපත් අඟ පසඟ වේ. ගමන් කිරීමේදී ස්වල්පයක් නැමී යයි. කඩිසරයි. පිත් අධිකයි.

ගතිගුණ: කුජ හිමි සටන් කාමී උෂ්ණ රාශියක් වූ බැවින් මේෂයෙහි උපන් අය උසස් අදහස්  ඇති ඉදිරියට යන තේජවන්ත ගතියකින් යුක්ත වෙයි. වුවමනා දේ වුවමනා වේලාවට වුවමනා කරන කෙනෙකි. කෙසේ හෝ ලබා ගනියි. තමාගේ පුද්ගලික ආශා සැප පහසුකම් අනුන් වෙනුවෙන් කැපකිරීමට සතුටු නොවේ. තමාට වුවමනා කරන දේ තමාට ඕනෑම වේ. කිර්තී ප්‍රශංසා ලැබීමට ඇති කැමැත්තත් පෙරමුණෙහි සිටීමට ඇති ආශාවත් ඉදිරියට යන ගතියත් නිසා ජය හා ප්‍රසිද්ධිය ලබයි. ක්‍රියාවෙහි සූරයි. එසේම කඩිසරයි. පුරුෂයෙකු නම් තමාගේ භාර්යාවට හෝ ස්ත්‍රියෙකු නම් තමාගේ  ස්වාමියාට හෝ හැර වෙන කිසි කෙනෙකුට යටත් පහත් වීමට කැමැති නැත. සහකාරියට සහකාරයාට ඉතා භක්තිවන්ත වෙයි. දිනන ලද ඉඳුරන් ඇති කෙලෙහිගුණ සලකන කෙනෙකු වෙයි. බඩගිනි ඉසිලිය නොහැක. නිතර ටික ටික කෑම ඕනෑ කරයි. නිතර ආඩම්බර ගතියෙන් සිටියි.

 

මේෂ ලග්නයෙහි උපන් අය වාද විවාද වලට වඩා යෝග්‍ය නැත. විවාදයේදී තමාට ජයගන්ට බැරි වූ විට සණ්ඩුවක් මතු කරගෙන එයින්වත් ජයගන්ට සිතයි. එහෙත් වහා අවබෝධ වන තීක්ෂණ නුවණක් තිබේ. සටනට නොපැකිලෙයි. කිසි භයක් නැත. සුළු සුළුදේවලට කැමති නැත. විශාල ව්‍යාපාර කටයුතු වලට යෝග්‍යයි. උසස් සිතිවිලි වේ. හදිසියේ කරුණු වෙනස් කරයි. එහෙත් යමක් ස්ථිරව කරගෙන යාමට සිතාගත්තොත් එසේම කරයි. ලෝකයේ ශේෂ්ඨ වීරයෝ මේෂ ලග්නයේ ඉපදී සිටිත්. රාශි චක්‍රය පටන් ගන්නේ මේෂයෙන් බැවින් මෙය බලවත්ම රාශිය වෙයි. මකර කටක දෙකට මැදි බැවින් යුක්ති සහගත වේ. එහෙත් තුලාවේ තරම් නැත.

දුර්වලකම් හැටියට පෙනෙන්නේ නොඉවසිලි ගතිය හා සමාදානයට එතරම් ගරු නොකරන ගතියද වේ. සුළු දේ කිරීමට කැමති නැත.

රෝග : උෂ්ණ දැවිලි රෝග, මොලේ අසනීප, බඩේ කැක්කුම , හදිසි ක්ලාන්ත වීම්, නින්ද නොයාමේ රෝග, හිටි හැටියේ සිහි නැතිවීම, ලෙහෙසියෙන් සෑදෙන රෝග වෙති.

මේෂයෙන් උපන් අයට පැළදීමට යෝග්‍ය අඹ තේස්ත, දියමන්ති හා සුදු නිල් වේ.



වෘෂභ

සාමාන්‍ය රූප ස්වභාව: පළල් වූ නළලකින් යුත් මධ්‍යම ප්‍රමාණයට වැඩ තරමක් ලොකු බෙරන්නා වූ ශරීරයකි. බෙල්ල මහත් වේ. රළු හිසකෙස් වේ.  සෙම් අධික වේ.

ගතිගුණ : සිකුරු හිමි වෘෂභයේ උපන් අය කෞතුක දේ වලට ආශා කරයි. ලෙහෙසියෙන් ජිවත් වීමට සිතයි. තිර රාශියේ ගතිය ඔප්පු කිරීමට මෙන් නොනැමෙන හිතක් ඇති වේ. හිතේ තබාගෙන සිටීමට සමතෙකි. තරහ වීමත් හෙමින්ය. එසේ වුනොත් හොඳ වීමත් හෙමින්ය. අනුන්ට තේරුම් ගත නොහැකි ගුප්ත ගති තිබේ. ඉතා සුළු දේවල් පවා සිතේ තබාගෙන සිට වුවමනා වූ විට ඉදිරිපත් කර කථා කරයි. ස්ථිර ජය ලැබෙන තුරු සටන් කාගෙන යාමට සමථයි. මිල මුදල් සම්බන්ධ හා තමාගේ ලෞකික දේවල් බොහෝ සුපරික්ෂාකාරී වෙයි. සිකුරා මෙන් ම වෛවාර්ණ ඇඳුම් පැළඳුම් වලට වියදම් කිරීමට මැලි වෙයි. තරමක් ලෝභී වෙයි. මුදල් ගනු දෙනු වලදී ප්‍රවේසම් වෙයි. කඩිසර කමක් නැත. එහෙත් නොනවත්වා වැඩෙහි යෙදී කරගෙන යාමට සමත්වේ. විරුද්ධකරයා ඉදිරියේ දනින් වැටී නැමෙන්නෙක් නොවේ. ස්වභාවික දර්ශනයට ප්‍රිය වේ. නගරබද ජිවිතයට වඩා මල් ගොමු පලතුරු  ගස් වැල් ආදියෙන් යුත් පිටිසරබද ජීවිතය යහපත්සේ සිතයි. කථාවට බොහොම හොඳයි. කරුණු ඇතුව කථා කරයි. තමාගේ අදහස් තදින් අල්ලාගෙනම සිටියි. අනුන්ගේ දැනමිතිකම් අනුව කටයුතු කිරීමට සතුටු නැත. තමා දන්නා කෙනෙක් සේ සිතයි. සිතිවිලි ලෞකික පැත්තටම බරවේ.

දුර්වලකම් හැටියට පෙනෙන්නේ තරමක ලෝභ කමත් සැප පහසුවට ඕනෑවට වැඩ ආශාවත් ජය ගැනීමට තිබෙන ආශාවත්ය. එමනිසාම සතුරෝ ඇති වෙයි. නදුමගට ද බසින්න අන්තිමේ සිදු වේ.

රෝග: සියලු සෙම්රෝග පහසුවෙන් සැදේ. ඔලුවේ බෙල්ලේ හා පපුවේ රෝග, උගුරේ රෝග, පිණස , ඇඳුම , සෙම් ගෙඩි ලෙහෙසියෙන් සෑදේ. කල්යාමේදී මලබද්ධය, ලේ වැඩිකම හෝ සෙම් වැඩිකම , වතුර වැඩිකම පිලිබඳ රෝග ලේ නහර පිපිරිම , පණ නැතිවීම, ආදී රෝග සෑදේ.

වෘෂභයෙන් උපන් අයට පච්ච ගල් පැළදීම යහපති. 



මිථුන

සාමාන්‍ය රූප ස්වභාව: උස් වූ සම්පුර්ණව වැඩුණු ශරීරය වෙයි. දික් වූ අත පය වේ. ලක්ෂණ දේහය වෙති. බොහෝ විට ප්‍රමාණයට වඩා උස් වෙයි. තාලයට ගමන් කරයි. පැහැදිලි වචන වෙයි.

ගතිගුණ: නර රාශියක් වූ මිථුනයෙහි උපන් අය මනුෂ්‍ය ජීවිතය සම්බන්ධ මනා අවබෝධයක් ඇත්තෙකි. මානුෂික ගතිය හා අනුකම්පාව ද ඇතිවේ. ඒ ඒ වේලාවට වුවමනා අන්දමට කටයුතු කිරීමට දක්ෂ නුවණක් තිබේ. කථාවෙහි දී සෑම දෙයක්ම දන්නා කෙනෙකු මෙන් උඩින් පෙන්වීමට කතාකරයි. දක්ෂ චින්තකයෙක් නොවේ. නිතර අදහස් වෙනස් වෙයි. මේ නිසාම පටන් ගන්නා දේවල් මුලින් හිතූ හැටියට අවසාන නොකරයි. පරස්පර විරෝධී වේ. බුදහු බලවත්ව යහපත් තැනක සිටියොත් දක්ෂ කථිකයෙකු හෝ කාව්‍යකාරයෙකු හෝ සංගීතඥයෙකු වීමට ඉඩ තිබේ. නිතරම වෘත්ති දෙකක හෝ වැඩි ගණනක යෙදෙන්නෙකි. එකක් කරන ගමන් තව එකක් ගැන සිතයි.

සමහර විට ස්ත්‍රී පක්ෂය නිසා ධන හානියට පැමිණේ. නවයේ පාපයෙකු නොසිටියොත් හොඳට ආගමික භක්තිය ඇත්තෙක් වෙයි. ඇවිදිලි ප්‍රියවේ. වැඩෙහි යෙදී සිටින තුරු ඒ වැඩෙහි දක්ෂයෙකු ලෙස කටයුතු කරයි. මිත්‍රසන්තවය ඇතිකෙනෙකි. කලින් පලපුරුද්දක් නැතිව අමුතුම වැඩක වුවත් නොපැකිල යෙදෙයි.

දුර්වලකම් හැටියට පෙනෙන්නේ පටන් ගන්න වැඩ අවසාන නොකර අතර මග අතහැර දැමීමත් දවසින් දවස අදහස් වෙනස් කිරීමත් නිස්කලංක භාවයක් නැතිකමක් වේ.

රෝග: පෙනහැල්ලේ රෝග, නිව්මෝනියා, ප්ලුරැසි , ඇදීම, බ්‍රොන්කයිට්ස් නම් සෙම් රෝගය ආදී පපුව ප්‍රදේශයේ රෝග හා බාහුවල වාත රුදාවද ලෙහෙසියෙන් සෑදේ.

මිථුනයෙන් උපන් අයට අක්වා මරින් හෝ නිල ගල් පැළදීම යහපති. 



කටක

සාමාන්‍ය රූප ස්වභාව : මධ්‍යම ප්‍රමාණ සිහින් ශරීරය වෙයි. දික්වූ අවයව වේ. ප්‍රිය මුහුණ වේ. සෞම්‍ය පෙනුම වේ. සිවුමැලි ශරීරය හෙවත් සියුම් සම ඇති කෙනෙකි. ගොරෝසු දේවල් පරිහරණය කල නොහැක.

ගතිගුණ: කටකය උත්තරායනයෙහි උසස්ම තැනවේ. හිතට අධිපති චන්ද්‍රයා හිමි කටක ලග්නයේ උපන් අය උසස් හිතිවිලි ඇති තීක්ෂණ චින්තකයෝ වෙති. දුටු දේ කිරීමෙහි සමත් වේ. තමාගේ යහපත් ගතිය නිසා අනුන්ගේ බස් විශ්වාසකර ඊට නැමේ. ක්‍රියා සූරවේ. උදාර අදහස් වේ. සෘජු අදහස් ඇත්තෙකු මෙන් පෙනේ. සඟවන රහස් ඉතා අඩුවේ. ධනවත් වේ. සමහර විට මහා ධනවන්තයෝ වෙති. අඹුදරු ආදීන්ට ඇති තද ඇල්ම නිසා ගෙදරම වාසයට හිතැති වේ. නිර්භිතවාක් මෙන්ම භයගුලු ද වේ. මිත්‍රයන් ඇති කරගන්නාක් මෙන්ම නැති වෙති. විපතට දුරදීම භයවන්නෙකි. හෙවත් කලින් වැඩි ප්‍රවේසම් වන්නෙකි. අනුන්ගේ විපතේදී අධිකව කම්පා වේ. කුඩා සතුන් කෙරෙහි ද පොඩි ළමයින් කෙරෙහිද තමාට වඩා පහත් අය කෙරෙහිද දුර්වල පක්ෂය හෙවත් ස්ත්‍රීන් කෙරෙහිද හිතවත් වේ. සියලු දුක් කරදර ද නඩුහබ නින්දා අපහාස මධ්‍යයේ වුවත් ප්‍රකට භාවයට පැමිණේ. ඉවසිලි ගතිය අඩුය. තරහ කල් නොපවතී. මහා ව්‍යාපාර ගැන සිතයි. කටයුතුද එසේමය. විශාල ව්‍යාපාරවල මූලිකත්වය දැරීමට සුදුසුවේ. උස් පාත්වන ධනය හා තත්වය ඇතිවේ. චන්ද්‍රයා ලග්නයේ නම් බොහෝ කොටම එසේම වේ. ආගමික උත්සව වලට ප්‍රියවේ. අවවාද දීමට තඅති දක්ෂයෝය. අන්‍යයන්ගේ ආරක්ෂාවට අවවාද දෙතත් තමා ඒවා ගැන එතරම් සලකා ආරක්ෂා නොවේ. අසදෘශ භාර්යාවක් ලැබේ. ලෝකයේ මහා ශ්‍රේෂ්ඨ පුරුෂයෝ මේ ලග්නයේ ඉපදී සිටියහ. දැනුදු සිටිත්. ඉරුගේ උත්තරායන ගමනේ මුදුන බැවින් ලෝකෝත්තර අදහස් වේ.

දුර්වලකම් හැටියට පෙනෙන්නේ අධික අනුකම්පාවත්, වහා කිපීමත් නොඉවසිලිකමත් උස් පාත්වන තත්වයත්ය.

රෝග: ගලනාලයේ අමාශයේ අසනීප, ග්‍රහණිය, අර්ශස් රෝගය, නිතර බද පිපුම, පිත්තාධික රෝග පහසුවෙන් සෑදේ.

කටකයෙන් උපන් අයට පච්ච හෝ දියපච්ච ගල් පැළදීම යහපති.



සිංහ

සාමාන්‍ය රූප ස්වභාව: පළල් වූ උරහිස් වලින් යුත් සම්පුර්ණ ව වැඩුණු දේහයක් වෙයි. බද සිහිනය. තේජවන්ත පෙනුමක් ඇති වේ. ලොකු හිසක් වේ. රත් පැහැ සම වේ. උරහිස් සමහර විට බොහෝ පළල් වේ.

ගතිගුණ: රවි හිමි සිංහයෙහි උපන්නේ ආත්ම ශක්තියෙන් යුත් දියුණු වීමේ තද ආශා ඇති එඩිතර ගති ඇත්තෙක් වේ. චිත්ත ධෛර්යය නිසාම විපත්වලින් මිදී මතුවෙයි. ආත්ම විශ්වාසය නිසාම ඕනෑම බැරෑරුම් කටයුත්තක් කිරීමට බාරගනී. මහා බලාපොරොත්තු නිසා සුළු වැඩ හා සුළු වැඩ කරන්නන් නුරුස්සයි. ආ ගිය තැන ප්‍රධානත්වය දරයි. අන්තිම මොහොත දක්වා වෙනස් නොකරන හිත නිසා මුලිකත්වයට හා ප්‍රසිද්ධියට පැමිණේ. මන්ත්‍ර ශාස්ත්‍ර, කාව්‍ය ශාස්ත්‍ර, චිත්‍රකර්මන්තාදියට ප්‍රිය වේ. ඒවායේ ද දක්ෂ වෙයි. සිහි කල්පනාවෙන් යුක්තව ක්‍රමානුකුලව කටයුතු කරන්නෙකි. එයින්ම ජිවිතයේ ජය පක්ෂය භාජනය කරයි. කෙනෙකුට පළමුවෙන් තමා වරදක් නොකරයි. ආඩම්බර වේ. තමාගේ අඹුදරු ආදීන්ගේ වරදක් තමාගේ වැඩිහිටියෙකු වුවත් පෙන්වනවාට කැමති නැත. රාජ පාක්ෂිකවේ. අන්‍යයන්ගෙන් ගරු බුහුමන් නිරායාශයෙන් ලැබේ. හරි හෝ වැරදි හෝ වේවා තම ගත අදහසම ක්‍රියාවේ යෙදීමට උත්සහ ගන්නා ගතියක් තිබේ. බඩගිනි ඉසිලීමට දක්ෂ වේ. මහා වේගවත් පාලකයෝ මේ රාශියේ ඉපදී සිටියහ. දැනුදු සිටිත්.

දුර්වලකම් හැටියට පෙනෙන්නේ තමාගේ තීන්දුව වෙනස් නොකිරීමට සිතීමත් පතල වීමට හා අන්තිම තීන්දුව දීමට ඇති ආශාවත් වේ.

රෝග: හෘදයේ හා කොඳු ඇටයේ රෝගවලට භාජන වෙයි. වැඩි වියේදී වකුගඩු රෝගද මුත්‍ර රෝගද සෑදේ.

සිංහයෙන් උපන් අයට තනි රතු, දියමන්ති බෙර්ලියන්තු පැළදීම  යහපති.



කන්‍යා

සාමාන්‍ය රූප ස්වභාව:  සිව්මැලි ශරීර වේ. මධ්‍යම ප්‍රමාණ වේ. සමහර විට මධ්‍යම ප්‍රමාණයටත් කුඩාවේ. ලෙලදෙන කට හඬ වේ. කඩිසර ගමන් වේ. වයසට වඩා තරුණ ගතියක් පෙනේ.

ගතිගුණ: ඥානයට අධිපති බුධහුගේ උච්චරාශිය වූ කන්‍යා ලග්නයෙහි උපන් අයට විසඳීමෙහි දක්ෂ ඥානයක් උත්පත්තියෙන් ලැබේ. බොහෝ අනුකම්පා සහගත වේ. අනුන්ගේ දොස් දකී. ඉතා ප්‍රවේසම් සහිත වෙයි. ආත්ම විශ්වාසය අඩු කෙනෙකි. කලබල ගතිය කෙබඳු ද කීවොත් ලියුම් දෙකක් ලියා සියල්ල ඉවර කර නියම ලියුම නියම කවරයේ දැම්මාද කියා නැවත විවෘත කර බලයි. යමක් කීමේදී ඉතා සුළුදේ පවා විස්තර කර කියයි. නැවත නැවත කියයි. ගෙදරදොර කටයුතු පවා වැඩිපුර සොයා බලා කිරීම සිරිත වේ. ගෙදර දොර බඩු බාහිරාදිය පවා නියම ක්‍රමානුකුලව තබා ගැනීමට සිතයි. ලියකියවිලි ඉතා ප්‍රවේසම් සහිතව පිළිවෙලට තබා ගනී. වුවමනා නැති සුළු දේවල් වලට පවා කාලය ගත කරයි. ලොකුදේ අත පසු කරයි. දීමට ප්‍රියවේ. මිත්‍රකම් ලක් පවත්වා නොගනී. නිරෝගී වේ. එහෙත් නැති ලෙඩට බොහෝ භයවේ. මුදල් වියදම් කිරීම ඉතා සකසුරුවම් කමින් වේ. හිතනවාට වඩා වැඩ කරන්නෙකි. රාහු කන්‍යා ලග්නයේ සිටී නම් මේ ගති බොහොමයක්ම මෙසේම වේ. බුදහු බලවත් නම් වේගවත් වචන හෝ සිනහ බස් හෝ කවට බස් අධික වේ.

දුර්වලකම් හැටියට පෙනෙන්නේ ආත්ම විශ්වාසය අඩුකම නිසා අනුන් විශ්වාස නොකිරීමත් ඉතා සුළු දේවල්වල ඇඟිලි ගැසීමක් අනුන්ගේ දොස් සෙවීමත්වේ.

රෝග: ආමාශයේ රෝග වලටත් සාමාන්‍ය ශරීර ශක්ති අඩු වීගෙන යන රෝග වලටත් භාජන විය හැක.

කන්‍යාවෙන් උපන් අයට ලා රතු හෝ ලා පාට ගල්, පත්ම රාග පැළදීම යහපත් වේ. 



තුලා

සාමාන්‍ය රූපස්වභාව: සිහින් උස්වූ සාමාන්‍ය ප්‍රමාණයට වැඩුණු දේහයකි. ප්‍රිය ලක්ෂණ පෙනුමක් ඇති වෙයි. තියුණු ඇස් ඇතිවේ. මධ්‍යම වයසෙන් පසු හිසේ පිටුපස පැත්ත තට්ටය පෑදේ.

ගතිගුණ: සෘජු අනුකම්පා සහිත කරුණාවන්ත සිතක් ඇති කෙනෙකි. යුක්තියටත් සහයෝගයටත් කරුණාවන්ත ගරු කරන්නෙකු වෙයි. සමාදානයට ඉතා කැමති වෙයි. ඥානයත් සූර ගතියත් වාග් චාතුර්‍යයත් දායාද මෙන් උත්පත්තියෙන් ලැබී තිබේ. ඉව හෙවත් කලින් යමක් පෙනෙන  ඥානය ඇත්තෙක් වේ. තරහ ඉතා ඉක්මනට සංසිදේ . කෞශල්‍යයට ආශා කරයි. ව්‍යාපාරයන්හි දක්ෂවේ. යුක්ති පසිඳිමෙහි මූලිකත්වය දරයි. තරාදියක් මෙන් සමබරට යුක්තිය විසඳයි. මේෂ ලග්නකාරයා මෙන් නොව තමාගේ පුද්ගලික සැප පහසුකම් අන්‍යයන් උදෙසා කැපකර තමා දුක් විදීමට තුලා ලග්න කාරයා කැමති වෙයි. ආත්මාර්ථයට වඩා පරාර්ථියට ගරු කරයි. උසස් සිතුවිලි වේ. ස්වභාවික සංදර්ශණයට ප්‍රිය වෙයි. වාද  විවාදයේදී සමාදානයට ගරු කරයි. මෘදු මිහිරිගතිය නිසා නිතර ප්‍රිය ස්වභාවයක් ඇති වේ. සමාජයට හිත වේ. ඇවිදීමට හිතවේ. ජන සේවයේදී මූලිකව පෙනේ. අන්‍යයන්ගේ හොඳ හිත දිනා  ගැනීමට සමතියි. මනුෂ්‍යත්වය ඉතා ගරු කොට සලකයි. කටක මකර දෙකට මැද බැවින් ලෞකික ලෝකෝත්තර ගති දෙකට මැද  සිටියි.

දුර්වලකම් හැටියට පෙනෙන්නේ කෞතුක දේට ආශාවක් නිතර ප්‍රීති වීමේ ආශාවත් තීන්දුවට නොබැසිමත්ය.

රෝග: වකුගඩු රෝග ඇපන්ඩිසයිටීස් , කටීවායූ හෙවත් තුනටියේ වාත රෝග, මුත්‍රාශයේ රෝග වලට භාජනය විය හැක.

තුලාවෙන් උපන් අයට බෙර්ලියන්තු, දියමන්ති, සුදුනිල් පැළඳීම යහපති.



වෘශ්චික

සාමාන්‍ය රූපස්වභාව: යහපත් සේ වැඩුණු අවයව වේ. නිරෝගී වේ. වකුටු හිසකෙස් වේ.

ගතිගුණ: ඉක්මන් කෙනෙක් වෙයි. නිර්භීත වෙයි. රහස් නැත. අවහිරයට පයින් ගසා ඉදිරියට යන ගතියක් තිබේ. සාරවත් හිතක් ඇත්තෙකි. එසේ ම ඥානවන්ත ද වේ. නොයෙක් ක්‍රියාවන් හි දක්ෂ භාවයක් සහජයෙන් ලැබී තිබේ. වැඩෙහි දක්ෂ වේ. ඉතා කඩිසර ගති ඇත්තෙකි. ධෛර්‍ය වහා ඇතිකර ගන්නෙකි. උසස් ආඩම්බර ගති ඇතිවේ. ගුණ දොස් විවේචනයට ප්‍රිය වේ. අන්‍යයන්ගේ අදහස් ක්‍රියා ආදියේ දොස් පෙනේ. ඒවා සම්බන්ධ කථාකරන්ට ගොස් නිකරුණේ අසතුටු සාදා ගනී. මේෂ රාශිය ළඟට වෘශ්චික රාශිය ක්‍රියාවෙහි දක්ෂවේ . නොයෙක් දේ දුටු හැටියේ කළ හැකි වෙයි. රැස්කර තබා ගැනීමේ ආශාවක් නැත. මානසික ධර්ම වහා අවබෝධවන නුවනක් තිබේ. සෙවීමට ආශා ඇත්තෙකි. කාලය අනුව ගරු සරු කරන සිරිත් වලට සැලකුවේ වී නමුත් ක්‍රමානුකූලව කථා කළොත් ඒවා බිඳදැමීමට සමත් වේ. තමාගේ කටයුතු පමණක් බලාගෙන ක්‍රියා කරන ගතියක් තිබේ. වෘශ්චික ලග්නයෙහි උපන් අය ආගිය තැන කැපී පෙනෙන්ගතියක් තිබේ. යමක් උඩින් පිළිගන්නා ගතියක් නැත. හොඳට අවබෝධයෙන් පසුව පිලිගනී . තමාගේ දක්ෂ භාවයෙහි ඇති ආත්ම විශ්වාසය නිසා කටයුතු අන්තිම මොහොත දක්වා කල් දමයි. ” මම ඒක ඕනෑ වෙලාවට කරන්නම් ” කියයි.

දුර්වලකම් හැටියට පෙනෙන්නේ මායමක් නැතිව තමාගේ අදහස් අන්‍යයන්ට දැනගන්ට හැරීම , වහා  කිපීම , සෙල්ලම් ක්‍රීඩා ආදියට ඇති ආශාව  හා තරමක කුඩු කේඩු කමත්ය.

රෝග: මුත්‍රාශයේ , ගර්භාශයේ රෝග මුත්‍ර ගල් හා දරුණු ඉක්මන් රෝග ආදියයි .

වෘශ්චිකයෙන් උපන් අයට  පුෂ්පරාග කහපාට ගල් පැළදීම  යහපති.



ධනු

සාමාන්‍ය රූප ස්වභාව: සම්පුර්ණ ලෙස වැඩුණු ලක්ෂණ රූපය වේ. පළල් නළල වේ. සමහරවිට ප්‍රමාණයට වඩා උස් වේ. උස්  වූ දික් නාසය වේ. රන්වන් ඉසකෙස් වේ. රතු පැහැ සම වේ. අංග සම්පුර්ණ රූපය  වේ.

ගති ගුණ: ගුරු හිමි ධනු රාශියේ උපන් අය ත්‍යාගිවන්ත වෙති. සෘජු යි. කෙළින්  වැඩ කරයි. පෘථුල අදහස් ඇති වේ. ක්‍රියාද එසේමයි. උසස් වීමේ මතු වීමේ බලාපොරොත්තු ඇත්තෙකි. යුක්තිය දිවි මෙන් සලකයි. අන්‍යෙකුට හෝ වෙන කෙනෙකු යුත්තක් කරනවා ඉවසිය නොහැක. එවිට කිසිම අනුකම්පාවක් නැත්තකු මෙන් යුක්තිය ඉටු කිරීම පිණිස සටන් වැදීමට ඉදිරිපත් වෙයි. ධනු රාශිය ශරීර දෙකක් එක්වී සෑදී තිබෙන්නාක් මෙන්ම ධනු රාශියේ උපන් අයද  ගති දෙකක් ඇත්තෝය. වරක් කිසි ගරු සරුවක් නැතිව ඕනෑ  දේකට ඉදිරියට පැන කරදර විය හියදම් දරා වැඩ කරයි. වරක් බොහෝ ඉවසිල්ලෙන් සිහි කල්පනාවෙන් සකසුරුවම් කමින් යුතුව එවැනි දේට මැදිහත් නොවී සිටියි. ඕනෑම අළුත්  දෙයක් ධනු ලග්නකාරයට අලුත් නැත. බාරගත් දෙය කිරීම ගන්න ධෛර්‍යය වටිනා දායාදයකි. යුක්ති ගරුකභාවය නිසා නිත්‍යානුකුල නුවූ දේ නොකරයි. ධනු ලග්නකාරයා තමාගේ ඕනෑකමින් නඩු මඟට නොබසි. හැකි සෑම විටම ඉන් බේරීමට යන්න දරයි. යතොත් යන්නේ අන්‍යයෙකු නිසාවේ . මිථුන  ලග්නකරයා පටන්ගත් වැඩය නොකර අතපසු කරන්නාක් මෙන්ම ඊට ප්‍රති විරුද්ධ ධනු ලග්න කාරයා පටන් ගත්  දේ අවසාන නොකර වෙන වැඩක නොයෙදේ. එකේම යෙදී ඉක්මනට අවසාන කරයි. දර්ශන න්‍යායේදී උසස් ධර්ම ඉගෙනීමට ආශා කරයි. රාශි වලල්ලේ නවවැන්න ඒවාට අයිති බැවිනි. කරන දේ ලොකුවටම කිරීමට සිතයි. නිදහසට ගරු කරයි. අන්‍යයන්ගෙන් නොරැවටීමට ප්‍රවේසම් වෙයි. යුක්ති ගරුක භාවය සත්‍යවාදි භාවය ධර්මිෂ්ට භාවය යන උතුම් ගති ඔහුගේ නොහරින ධනය වේ. වසනා ගතියෙන් හා ප්‍රීතියෙන් පසු වෙයි. වචන ඥානවන්ත වාක් මෙන්ම ආඥා මෙන්ද වේ. ක්‍රියා ධෛර්ය ගන්වන සුළු මෙන්ම භයානක ද වේ. කඩිසරකම ද ක්‍රියාකාරත්වය ද ගතිය යහපත් බැවින් ව්‍යාපාරයෙහි මහත් දියුණුව ලබයි. විනීත ගතිය වැඩ පිළිවෙල ක්‍රමානුකූලකම තමාගේ දියුණුවේ පඩි පෙළ වේ. ධනු ලග්න කාරයන් හදිසියේම බසින තීන්දුව පසුව බලන විට බොහෝ කල් සකස් කර කළ  දෙයක් මෙන් හරියයි. අශ්වයින්ට අශ්වරේස් වලට එවැනි සෙල්ලම්වලට කැමති වෙයි. එහෙත් බොහෝ විට නිහතමානී චාම් ජීවිතයම ගෙවයි. ගනුදෙනු පරිස්සමෙන් කරන ගතියක් තිබේ. දුර්වලකම් හැටියට පෙනෙන්නේ නුවමනා අවිශ්වාසයත් අප්‍රවේසම්ව භයානක දේට මුනපෑමත් හදිසියේ අදහස වෙනස් කිරීමත් හදිසි අනතුරු වලට භාජනයවිමත්ය. ධනු ලග්නයට චන්ද්‍රයා අටේ සිටීම හොඳ නැත. ස්වක්ෂේත්‍ර වුනේ වී නමුත් රෝග පීඩා සාදයි . ශනි පහේ සිටීම බොහෝ ගුණ දෙන පිහිටීමකි.

රෝග: තුනටියේ හා ඒ අවට ප්‍රදේශවල රෝග රක්ත වාතය , නියම  ක්‍රමානුකූලව ශරිරියන්ත්‍රය වැඩ නොකිරීම උගුරේ හා සෙම් නාලයේ රෝග, අර්ශස් ගෙඩි, ගුද කීල ආදිය හෝ කකුල් ඉදිමීම නොවේ නම් කකුල් වල කළු ගල් නහර මතුවීම ආදියයි.

ධනුවෙන් උපන් අයට  කොළ නිල් මිශ්‍ර ගල් ජාති පසිංගල හෝ ඝන පච්ච වර්ග යහපති.



මකර

සාමාන්‍ය රූපස්වභාව: සිහින් දුර්වල ශරීරය වේ. හීන් මුහුණ හා මහත් දත් වෙයි. ශනි හෝ ගුරු ලග්නයේ නම් මහත් ශරීර වේ.

ගති ගුණ: ශනි අධිපති පඨවි රාශියක් බැවින් මකර ලග්නයෙහි උපන් තැනැත්තේ බලය ලබා ගැනීමේ ආශාව ඇත්තෙකි. සියුම් සිතිවිලි අඩු ක්‍රියාත්මක ගති වැඩි කෙනෙකි. තමාගේ වාසිය පිණිසම වැඩ කරන ආත්මාර්ථකාමී ගතිය බල පවත්වයි. ඒ වෙනුවන් දුර කල්පනා කරයි.ලාභය අතට ලැබෙන තුරු එය ලැබේය යන විශ්වාසයෙන් තොර වේ. කම්කටොලු විදීමේ ඇති නොපසු බස්නා ගතිය නිසා ජයග්‍රහණය කරා ගමන් කරයි. මකර ලග්නයෙහි උපන් තැනැත්තේ කම්මැලි කමින් නිකරුණේ කාලය ගත නොකරයි. ලෞකික ආශාව ඉතා බලවත් වේ. අර්ථ ශාස්ත්‍රය පිළිබඳ නුවන හෙවත් අයවැය බල කටයුතු කිරීම ප්‍රධාන අංකයෙහි වෙයි. මුදල් වලට ඇති ලෝභී කම නිසාත් බලය ලබා ගැනීමට ඇති ආශාව නිසාත් තරමක මසුරෙකුගේ ගති ගුණ පෙනෙන්නට තිබේ. අන්‍යයන්ගේ සුළු දේ මහත් කොට සිතයි. ඒවා ලොකුකර කථා  කරයි. ක්‍රමානුකූල පාලනයෙහි දක්ෂවේ. විශාල ව්‍යාපාර වල මූලිකත්වය  දැරිය හැකි පාලන ශක්තියක් තිබේ. සියලුම වැඩ නවතින අඳුරු මලානික කාල පසුකරන්ට සිදුවේ. දිනන්න දිනන්න ඉරිදියට යන්නාක් මෙන්ම පරදින විට නොපෙනී සිටීමට කැමති වෙයි. කථාවෙහි දක්ෂාවක් මෙන් ව්‍යක්ත නොවේ. මිත්‍රයෝ අඩුවෙති. කරන සෑම  දෙයකින්ම යම් කිසි ලාභ ප්‍රයෝජනයක් ගැනීමට සිතන නිසාම ධන රැස්වේ. බර වැඩට හා පෙරමුණෙහි යන වැඩට යෝග්‍යවේ. දේශපාලන කටයුතුවලට යෝග්‍යයි. කටක ලගනයට ප්‍රතිවිරුද්ධ මකර ලග්නයේ උපන් අය පොළොවට  ආශා කරයි. උසස් සිතුවිලි නැත. සියල්ලක්ම ලෞකිකවූත් ක්‍රියාත්මකවූත් දේවල් විය යුතුය. ඉරුගේ දක්ෂිනායනය ඉවර වන්නේ මෙහිදීය.

දුර්වලකම් හැටියට පෙනෙන්නේ ඕනෑවට වඩා වෙහෙස වී වැඩ කිරීමත් ලෝභ කමත්ය.

රෝග: සමෙහි රෝග හා වාදන් රෝග (දනහිස් කොණ්ඩා වල රෝග) ලේ අඩුකමින් පිපිහලුවිම, රක්තවාතය, හන්දි කැක්කුම, වාත  රෝග, රක්ත රෝග ලෙහෙසියෙන් සෑදේ.

මකරයෙන් උපන් අයට චන්ද්‍රකාන්ත ගල් පැළදීම යහපති.



කුම්භ

සාමාන්‍ය රූප ස්වභාව: මධ්‍යම ප්‍රමාණ ශරියයක් වේ. ප්‍රිය මුහුණ වේ. වර්ණවත් ඉසකෙස් වේ. කාරුණික පෙනුමෙන් යුක්ත වේ.

ගතිගුණ: ස්වභාවික තත්වයට ගරු කරන්නෙකි. මනුෂ්‍ය ගති ඇත්තෙකි. ගැඹුරු දේ ඉගෙනීමෙහි ආශා ඇත්තෙකි. ක්ෂත්‍රිය මායම් දනී. රෂ්ට්‍ර පාලන විද්‍යාව දනී. අනුන්ගේ චරිත කීමේ ශාස්ත්‍ර ඉගෙනීමෙහි දක්ෂ වේ. හොඳ මිත්‍රයන් ආශ්‍රය කරයි. නියම මිත්‍රයෝ කවුරුද යනු අඳුනා ගැනීමෙහි සමර්ථ වේ. කරන දේ සොයා බලා කරයි. නැත්නම් වෙන කෙනෙකු කරන තුරු බලා සිට ඉගෙන ගෙන කරයි. ප්‍රවේසම, ඉවසීම, හිතේ එකඟකම, ඔහුගේ ගුණධර්මයෝ වෙති. සියුම් ක්‍රියාවන්හි ඇලෙයි. ඥානවන්ත වුණේ වී නමුත් අලුත් දේ පිළිගැනීමට ප්‍රමාද වෙයි. ධාරන ශක්තිය ඇත්තෙකු බැවින් වරක් කල කි දේ මතක නැති නොකරයි. රසායන පරීක්ෂණ කටයුතු වලට යෝග්‍ය වේ. ලෝකය සාමාන්‍ය ජනයාට මිස වාසනාවන්තය කියන කීප කෙනෙකු පිණිස නොවේ. යන මතය තදින් දරන්නෙකි. ජාතික වැඩ කිරීමේදී පොදු මහජනයාටත් පෑගී සිටින දුර්වල පක්ෂයටත් යහපත පිණිස වැඩ කරයි. පිටින් පෙනෙනවාට වඩා යහපත් ගති ගුණ ඇතුලත තිබෙන කෙනෙක් වෙයි. හිත කය සම්පුර්ණයෙන්ම කරන වැඩෙහි යොදා ක්‍රියාකිරීමට ධෛර්‍යයක් තිබේ. බොහෝ විට කුම්භ ලග්නයේ උපන් අය  ජය ලබන්නේ අන්තිමේදී සිතයි. නැත්නම් අන්‍යයන්ට ගුණදැනමිති කම් දෙන දේශනා කිරීම් වැනි දේවල් වලට පෙළඹෙයි. දර්ශන න්‍යායාදී ගැඹුරු ශාස්ත්‍රයන්ට ආශා කරයි. ඒවා ඉගෙනීමට දක්ෂ වේ. තමා ඒවා ක්‍රියාවේ යෙදෙනවාට වඩා අනුන්ගේ යහපත පිණිස කියා දීමට ඉගෙන ගනී. මෙය ශනිගේ රාශියක් වුනේ වී නමුත් මකර ලග්නකාරයා මෙන් ආත්ම ලාභයට ප්‍රධානත්වයට, ආශා නොකරයි. එම නිසාම නියම මහජන ප්‍රසාදය දිනාගත් ශ්‍රේෂ්ඨ පුරුෂයෝද වෙති. අනාථ මඩම්, හිර ගෙවල්, ආරෝග්‍ය ශාලාදියට උදවු දීමට සිතයි. ඒවායේ දුක් විඳින්නන්ට ඇප උපකාර කරයි. ඒවායේ රක්ෂාව හෝ කරයි.

දුර්වලකම් හැටියට පෙනෙන්නේ තනිව විවේකව ජීවත්වීමට තිබෙන ආශාව නිසා කටයුතු වල නොයෙදෙන අඳුරු කාලවලට මුහුණපාන්ට සිදුවීමත් ඉදිරියට පැනයන ගතිය අඩුකමක් ලෞකික දේට හිත යොමු නොකිරීම සමහර විටක ඇතිවන කම්මැලි භාවයක්  වේ.

රෝග: කකුල් වල පහළ සන්දිස්ථාන අත්වල මැණික් කටු සන්දිස්ථාන ආදියේ වේදනා රෝග හෝ ඉදිමීම, තනිදඩුවල කළු ලේ නහර මතුවීමෙන් සැදෙන රෝග හෘදයේ රෝග හමේ රෝග හා ඇස් රෝග ද ලෙහෙසියෙන් සෑදේ.

කුම්භයෙන් උපන් අයට තද නිල් හා වෙනත් නිල් ගල් ජාති පැළඳීම යහපති.   



මීන

සාමාන්‍ය රූපස්වභාව: කුඩා අතපය ආදී අවයවයන් ගෙන් යුත් මිටි තරබාරු ශරීරයක් වෙයි. උරහිස් පටුය. උකුල ප්‍රදේශය පළල්ය. බබලන ඇස් වේ. සමහර විට ප්‍රමාණයට වඩා ලොකු ඇස් වෙයි. බොහෝ විට රතු ඇස් වෙයි. දිලිසෙන මෘදු සේද වැනි ඉසකෙස් වෙයි. මධ්‍යම වයසෙන් පසු ඇඟ බෙරලායි. මස් බුරුල්ය.

ගතිගුණ: බාල කාලයේ කඩිසර වේ. සංදර්ශනිය වේ. උණුවන හිතක් ඇති සෘජු කෙනෙක් වෙයි. අන්‍යයින් ගේ අදහස් වලට ගරු කිරීමක් වශයෙන් නැමෙයි. අමුතු අමුතු අදහස් වලට හා අලුත් අලුත් දේවලට හැරෙන ගතියක් වෙයි. ලෞකික අතින් දියුණුව හෙමිහිට වෙයි. ලෝකෝත්තර දේම ගරු කොට සලකයි. කටයුතු දෙකක හෝ වැඩි ගණනක යෙදී සිටීමට සමර්ථ වේ. ඉතාම  කරුනාවන්ත වේ. දුගියෙකුට යමක් දීමේදී උඹට මක් වෙලාද , රක්ෂාවක් කරන්ට බැරිද, කියා කිසි කලක නොවිමසයි. එසේම රෝගියෙකුට සංග්‍රහ කිරීමේදී ලෙඩේ කුමක්ද, හැදුනේ කොහොමද, කියා නොවිමසයි. සමාව දීම මීන ලගන කාරයාගේ ප්‍රධාන අංගයයි. හතුරෙකුට වුවත් ද්‍රෝහිකම් නොකරයි. මහජන සේවයට ඇති අධික ආශාවක් ගරු නම්බු තෑගි බෝග පිළිනොගන්නා ගතිත් ආත්මාර්ථය නොසැලකිමත් නිසා මෙලොව සැපසම්පත් දියුණු වන්නේ කලාතුරකිනි. බොහෝ විට ආත්ම  පුජාවන් අධික ත්‍යාගිවන්ත භාවයන් නිසා තමා දිලින්දෙකු ද විය හැක. මීන ලග්න කාරයා  කෙරෙහි තැබූ විශ්වාසය කිසිදා නොබිදේ. කොතරම් කරුණාවන්ත ද කීවොත් සතෙකු වුවත් දුක් විඳිනවා තමාට ඉවසිය නොහැක. බොහෝ විට උන්ට උදව් පිණිස කටයුතු කරයි. හැදෙන ගහක් වැලක් පවා කැඩීමට මැලි වෙයි. මීන  ලග්න කාරයා තමාගේ යහපත් ගතිගුණ රටට ඇසෙන සේ නොකරයි. ඒවා තමාගේම සිතේ ප්‍රීතිය පිණිස භුක්ති විඳියි.

දුර්වලකම් හැටියට පෙනෙන්නේ  අධික ස්නේහවන්ත භාවය තමාම විනාශ වන අධික අනුකම්පාව හා ත්‍යාගිවන්ත භාවය අන්‍යයන්ගේ වචන පොරොන්දු විශ්වාස කරගෙන සිටීම ආදියයි. මේවා උසස් අයගේ ගුණධර්ම වේ.

රෝග: වළලු කරේ සිට පහලට කකුල් වල රෝග, ලේ අඩුකම, ඉදිමුම ගතිය, ලේ අඩු කමින් ඇතිවන හෘද රෝග පිපිහලුවිම ආදිය වේ. වයස යාමේදී ලේ අඩුකම හා කකුල් ඉදිමීම ස්වභාවයයි.

මීනයෙන් උපන් අයට පසිංගල හෝ පළිඟු ගල් පැළදීම යහපති.


මෙම කී සියලු විස්තර එසේම එක්කෙනෙකු තුළ ඇතිවිය නොහැක. මෙය පොදුවේ කරන පැහැදිලිකිරීමක්ය.  ලග්නයේ සිටි ග්‍රහයා  ගේ හැටියටත් ලග්නාධිපතියා සිටි රාශියේ අධිපතියාගේ හැටියටත් ලග්නයට හා ලග්නාධිපතියාට වැටහෙන දෘෂ්ටිවල හැටියටත් ලග්න ලග්න නවාංශකයේ හැටියටත් වෙනස්වන වන බව සිතේ තබාගෙන රූපස්වභාව හා ගතිගුණ නිර්ණය කල යුතුය.

Contact Us

Address :  Narampola road , Thorayaya, Kurunegala, Sri Lanka.
Email : [email protected]
Viber / Imo / Whatsapp : +94 777 818 717

[email protected] All Rights Reserved.